Oct 8, 2011

මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ...

ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් ප්‍රබල ඉන්දියානු ජාතික සංගමය පිහිටවලා එහි කටයුතු ප්‍රභාමත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දි ඉතාමත් දේශානුරාගයෙන් ඔද තෙද වැඩුණු පිරිසක් එය වට රොක්වුණා. මහත්මා ගාන්ධි, ගන්ගාධාර් තිලක්, ජවහර්ලාල් නේරු, මෝති ලාල් නේරු වැනි පිරිස් මෙයට නායකත්වය සපයද්දි සාහිත්‍යමය පැත්තෙනුත් මෙයට උපරිම දායකත්වයක් ලැබුණා. විශේෂයෙන්ම බංකිම් චැටර්ජි...වන්දේ මාතරම්..ගීතය ලියද්දි තවත් සුවිශේෂ කවියක් ඉන්දියානු නිදහස් සටනේ ප්‍රාණවත්භාවය වැඩි කලා.





නොසැලෙන හිත කො තැන්හිද?
නොනැමෙන හිස කො තැන්හිද?
ඥානාලෝකය නිදහස් වූයේ කොතැන්හිද?
පුද්ගලික භේද නැමති ගල් පවුරින්
කැබලි වලට නොබෙදී ගිය
ලෝකය කොතැන්හිද?
සත්‍යයේ හද පත්ළෙන් වචන ගලා
එන්නේ කොතැන්හිද?
පසු නොබස්නා උත්සහවන්තයා 
සෞභාය්‍යය කරා
අත ඔසවන්නේ කොතැන්හිද?
මළ සිරිත් නැමැති බිහිසුණු වැලි කතරින්
යුක්ති ධර්මයේ සුනිමල දියදහර
නොනැසුනේ කොතැන්හිද?
පුළුල් සංකල්පනාවට හා උතුම් කර්යයට
ඔබ විසින් උසිගන්වනු ලබන
ඒ උත්තරීතර චින්තනය කොතැන්හිද?
අන්න ඒ නිදහස නැමැති ස්වර්ග රාජ්‍යයට
මාගේ පියාණනි
මගේ රට අවදි කරවනු ලැබේවා..

මේ ශ්‍රේෂ්ඨ කවිය ලියවෙන්නේ ඉන්දියානු සාහිත්‍යයේ මහා පහන් ටැඹ බඳු රවීන්ද්‍රනාත් තාගෝර් ශූරින් අතින්. මෙය එවකට ඉන්දියානු ජාතික සටන උසිගන්වනු ලැබූ හා ප්‍රතාපවත් කරවනු වස් ලියැවුණු මහා කාව්‍යයක් බවට පත්වුණා.

  ඊට වසර ගණනාවකට පසු මෙම මහා කාව්‍යය ලංකාවේ බිහිවුණු අග්‍රගන්‍ය නිර්මාණකරුවෙක් වූ මහගමසේකර සූරීන් අතින් ශ්‍රී ලාංකීයකරණය වීමත් සමග එය ලංකාවේ රට දැය සමය නංවාලන මහා ගීතිකාවක් බවට පත්වෙනවා..

  විශාරද අමරදේව නම්වූ හෙළ ගී පා තුමන් හා සුනිල් එදිරිසිංහ නම්වූ ගාර්ධර්ව ස්වර මිශ්‍රණයෙන් ඔපවත්වන මෙය අදටත් ලංකා සමාජය තෙදවත් කරන ගීයක් ලෙස වැජඹෙමින් තිබේ. එය අපේ ජාතික සටන තෙදවත් නොකලත් වත්මනේ පවා හෙළ හදවත් සුඛිත මුදිත කරන ගීයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාවෙනි. එදා මේ කව ලියූ තාගෝර් තුමන් එය ලියන විට කිසි දිනක මේ පුංචි රටේ ජනතාව නගා සිටුවන ගීයක් බවට එය පත්වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත.


පටු අදහස් නම් පවුරෙන් ලෝකය
 කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ
ස්වර්ග රාජයට
මාගේ දේශය අවදිකරනු මැන
පියාණනේ...

සත්‍යය පතුලින් ගලා පිරිසිදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන්
මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ 
ස්වර්ග රාජයට
මාගේ දේශය අවදිකරනු මැන
පියාණනේ..

පසුනොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතුවිලි උදෙසා
කම්කටයුතු උවෙදා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා
ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ 
ස්වර්ග රාජයට
මාගේ දේශය අවදිකරනු මැන
පියාණනේ..


5 comments:

  1. ලස්සන අදහසක් තියන ලස්සන සින්දුවක්! බාගන්න මතක් කලාට ස්තූතියි, ;)

    ReplyDelete
  2. ස්තූතියි යාළුවා..වටිනා කවියකින් බිහිවුණ ලස්සන ගීතයක්

    ReplyDelete
  3. මමත් පොඩි කාලෙ ඉදන්ම වගේ කැමති සින්දුවක්.සින්දුව අහනකොට නොදැනීම හිතට ලොකු හැගීමක් එක් වෙනවා.

    ReplyDelete
  4. ඇත්තටම නිසුපා මේ ගීතයේ වාදනය ඇහෙනකොටම මගේ ඇඟට මොනවද වෙනවා වගේ දැනෙනවා..එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට කියන පදය ඇරුණම මම වැඩියෙන්ම කැමති පදය...ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතනක දෝ...

    ReplyDelete
  5. මේ ගීතය මමත් ගොඩක් ආස කරන ගීතයක්... මම පොඩි කාලේ ඉස්කෝලේ රැස්විම් වලත් මේ ගීතය කියලා තියෙනවා.. ඒත් තාගෝර් තුමන් ලියපු ඉන්දියානු ගීතය හා ඩම්බන්දයි කියලනම් දැනන් හිටියේ නෑ...

    ReplyDelete